Monday, 12 December 2022

බුලතාගේ දස්කම්

සොරබොර වැව සෑදීම

            ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය. දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

          දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ යි කියා ප්‍ර‍ශංසා කළේය.එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු බලේ-යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ                                                                                                       එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ-සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ


බුලතා යෝධයා දුටු­ගැ­මුණු රජුට කිරි උණු කළ උණු­කි­රි­ගල කන්ද

දුටුගැමුණු මහරජුට උදේට එළකිරි උණු කර දී ඇත්තේ 'බුලතා' යෝධයා බව පැවසේ. මහියංගණයේ සොරබොර වැව ඉදි කළ මෙම බුලතා යෝධයා නමින් ගමක් ද ඉදිකොට ඇත. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගංතොටට නුදුරු බුලත්වැල්කඳුර නමින් අදත් මෙම ගම හඳුන්වයි. දුටුගැමුණු මහ රජුට බුලතා යෝධයා එළකිරි උණු කර ඇත‍්තේ විශාල ගල් පර්වතයක පිහිටි තැනිතලාවක කළුගල් තුනක විශාල මැටි මුට්ටියක් තබාය. මෙම ගල් පර්වතයට උණුකිරිගල කන්ද නමින් ප්‍රසිද්ධ විය.

ඒ හේතුවෙන් මහියංගණ චෛත්‍යය මුලින්ම ඉදිකොට ඇත්තේ ද දුටුගැමුණු මහරජතුමා විසින් බව සඳහන් වේ. ක්‍රි. පූර්ව 505 දී පමණ එය සිදු වූ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඒ වකවානුවේදී බුලතා යෝධයා සොරබොර වැව ඉදි කළ බවටත්, බිබිල වෙල්ලස්සේ ඓතිහාසික කොටසර රාජමහා විහාරස්ථානයේ උමං ළිඳ හෑරූ බවටත් ඉතිහාසයේ සඳහන් වෙයි. දුටුගැමුණු මහරජුට කිරි උණු කළ ගල පිහිටි කඳුවැටිය අද වන විට මාදුරුඔය ජාතික වන උද්‍යානයට අයත්ව තිබේ. මහියංගණ - පදියතලාව මාර්ගයේ දඹාන ආදිවාසී ගම්මානය පහුකර ගුරුකුඹුර වනජීවී මුර කපොල්ලෙන් ඇතුළු වී මාදුරුඔය ජාතික වන උද්‍යානයට පිවිසිය හැකිය. මහියංගණ - පොලොන්නරුව මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ නගරය පසු කර රත්කිඳ ජලාශයෙන් එගොඩවීමෙන් ද මෙම ස්ථානයට ළඟා විය හැකිය.

එදා බුලතා යෝධයා කිරි උණු කළ ස්ථානය මෙම ගල තරණය කළ විට අදත් දකින්නට හැකිය. මෙහි අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක තැනිතලාව ඇත. ඒ මත විශාල ගල් තුන පිහිටා ඇත. ඒ මත තැබූ මුට්ටියක කිරි උණු කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. එකල දුටුගැමුණු මහරජ කිරි කළ හතක් පානය කළ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ගල පිහිටි කඳුවැටිය දිගින් කිලෝමීටර් එකක් පමණ වන අතර, පළලින් මීටර් 500 කට ආසන්න යැයි විශ්වාස කළ හැකිය. මෙහි අඹ, කොස් වැනි ගස් වර්ග දැකගත හැකිය. වැළ, වරකා ඇති අතර, ඒවා අනුභව කළ හැකිය. එහෙත් රැගෙන ඒමට නොහැකි බවටත් එලෙස රැගෙන ඒමට සූදානම් වූ මෙන්ම නිධන් වස්තු කොල්ලයට ගිය අයට කරදරවලට මුහුණපෑමට සිදු වුණ අවස්ථා ඇති බවත් ගම්වාසීන් විස්තර කළේ මේ අයුරිනි.

දඹාන ගුරුකුඹුර පදිංචි ඌරුවරිගේ ගුණබංඩිලා ඇත්තන් (54) පැවසුවේ මෙබඳු කතාවකි.

‘මේ කන්දට පාර නොදන්න කෙනෙකුට එන්න බැහැ. කැලේ අතරමං වෙනවා. ගල මුදුනට යන්න වනජීවී මහත්වරුන්ගෙන් අවසර ගන්න ඕනෑ. පාරුකරුවෙකුගේ මාර්ගයෙන් ගලට හොරෙන් ගිහින් නිධන් ගන්න හදපු අයත් පසුගිය කාලයේ වනජීවී නිලධාරීන්ට අහුවුණා. මේ ගලේ වටිනා නිධන් වස්තු තිබෙන බවට ප්‍රසිද්ධයි. බුලතා යෝධයාගේ රන්කඩුව, රන් ආභරණ මෙහි නිධන් කරලා තිබෙන බව කියනවා. බුලතා යෝධයා සොරබොර වැව බැඳලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳගෙන. බුලතා යෝධයා වැඩි කාලයක් ගතකරලා තියෙන්නේ මේ ගලේ බවට විශ්වාසයක් තියෙනවා. මහියංගණ චෛත්‍යයත් සොරබොර වැවත් මේ උණුකිරිගලත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එදා මහියංගණ චෛත්‍ය හදන්නට දුටුගැමුණු රජ්ජුරුවන්ට මුලින්ම ආරාධනා කර ඇත්තේ සුමන සමන් මහා දෙවියන් විසින්. ඊට පසු රජු මහියංගණ මහා සෑය හදන තැනට බුලතා යෝධයා මේ උණුකිරිගල කන්දේ සිට ගමන් මාර්ගයක් හදාගෙන තියෙනවා. ඒ අතරතුර තමයි සොරබොර වැව හදන්න පටන්ගෙන තියෙන්නේ. සොරබොර වැව ඉස්මත්තේ වටවන කියන ගම පිහිටා තියෙනවා. ඒ කාලෙ පටන් මේවගෙ ජීවත්වෙලා තියෙන්නේ වැදි මිනිස්සු. උණු කිරිගල කන්දෙන් බැහැලා යන්නේ දඹාන වැදි ගමට. එතනින් යනවා වටවනට. ගිහින් සොරබොර වැවට යනවා. එතනින් මහියංගණ චෛත්‍යයට යනවා. ඔන්න පාර. දවසකට දෙතුන් වතාවක් බුලතා යෝධයා මෙහෙම අවා ගියා කියනවා. ඒක පිළිගන්න සාධක තියෙනවා. අපේ මී මුත්තන් ඒ දවස්වල මේ කතා අපට කියලා තියෙනවා. උණුකිරිගල කන්දට රාත්‍රියට දේවතා එළි පාත් වෙනවා. ඒ දේවතාවරු යන එන බව තමයි කියන්නේ. මේවාට දවස් තියෙනවා. පසළොස්වක පෝය දවසට, බදාදා, සෙනසුරාදා වගේ කෙම්මුර දවස්වලට රාත්‍රී 12 න් පසුව තමයි දේවතාවරු වඩින්නේ.

රාත්‍රී කාලයට මේ ගල් කන්දට කිසිවෙකු යන්නේ නැහැ. ඒ වුණත් විශේෂයෙන් කෙම්මුර දවස්වල රාත්‍රී කාලයේ කථා, ශබ්ද, ගල් දොරවල් ඇරෙන සද්ද ඇහෙනවා. නමුත් ගලෙන් බසින කෙනෙක් පේන්ට නැහැ. මේ ගල් කන්දට අරක්ගෙන සිටින දේවතාවරු එහෙම නැත්නම් මේවා භාරගත්ත බහිරවයෝ වෙන්න ඕනෑ,

දඹාන වතුයාය ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ඌරුවරිගේ විජේබංඩිලා ඇත්තන්,

‘මේවා වැද්දන්ගේ ගම් පොජ්ජවල්, අම්මිලා, අප්පිල ඇත්තන් කැකුලි කැකුලන් ආදී කාලේ ඉඳලා මේ ගම් පොජ්ජේ ජීවත්වෙලා තියෙනවා. උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. නරක හිතකින් ගියොත් එන්න වෙන්නේ නැහැ. දවසක් අම්පාර පැත්තේ දේශපාලනය කරන ලොකු මහතෙක් තවත් කීපදෙනෙකු සමඟ ගමේ ඉන්න පාරකාරයත් සමඟ කොහොමහරි මේ කන්දට ගියා. ආපු පිරිස ගියේ නිධන් බලන්න. මේක දන්නෙ නැහැ ගමේ ඇත්තෝ. කොහොම හරි හවස් වෙනකොට ගමට ආරංචි වුණා කලු දෙබරු ඇවිස්සිලා ගිය අයට ගහලා කියලා. අවසානයේ අම්පාරෙන් පැමිණි මන්ත්‍රීතුමා උස්සාගෙන පාරට ගේන්න පාර පෙන්වන්න ගිය ගමේ අයට සිද්ධ වුණා. මේ උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. වැරැද්දක් කරලා නම් හොඳින් එන්න බැහැ. බුලතා කියන යෝධයා දේවතාවෙක් වෙලා ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. මේ සිදුවීම් එක්ක විශ්වාස කරන්න හැකියි දුටුගැමුණු රජ්ජුරුවන්ට කිරි උණු කරලා තියෙන්නේ මේ කන්දේ. කිරි උණු කළේ කැලේ ඉන්න හරකුන්ගෙන් දොවාගෙන ඇවිත්. බුලතා යෝධයා මේ ගල් කන්දට ගිහින් කිරි උණු කරලා දුටුගැමුණු රජුට දුන්නා කියනවා. බුලතා යෝධයා කිරි කළ හතක් අරගෙන කන්දෙන් කන්දට පැන ගියා කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් මේ ගල කන්දට උණුකිරිගල කන්ද කියලා නම හැදුණේ බුලතා යෝධයා දුටුගැමුණු රජුට කිරි උණු කළ නිසා යැයි විශ්වාස කළ හැකියි.

බුලතා යෝධයාගේ ඇල්ම බැල්ම නිසා තාමත් උණු කිරිගල කන්දේ පරිසරය ආරක්ෂා වී ඇත. මේ සඳහා වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන සහය ද අගය කළ යුත්තකි.

6 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...